ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (ReCAPP) සමූහ රැස්වීම කොළඹදී ආරම්භ වෙයි

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (Regional Cooperation Agreement on Combating Piracy and Armed Robbery against Ships in Asia - ReCAAP) සමූහ රැස්වීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා එම සහයෝගිතාවයෙහි තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණස්වාමී නටරාජන් මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත (Governor of Sri Lanka to ReCCAP ISC) නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, එම සහයෝගිතාවයෙහි සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිතයන් සහ දේශීය පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින (2024 ජුලි 23) කොළඹ කින්ස්බරි හෝටලයේදී ආරම්භ විය.

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව සිදුවන මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩලීමේ කලාපීය සහයෝගීතා ගිවිසුම (ReCAAP) 2006 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වන දින බලාත්මක වී ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපීය රාජ්‍යන් දාහතරක් (14) සහ ආසියානු නොවන රාජ්‍යන් හතක් (07) මෙම ගිවිසුමට බැඳී කටයුතු කරනු ලබයි. ඒ අනුව, ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්රූනායි, කාම්බෝදියාව, චීනය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ලාඕසය, මියන්මාරය, නෙදර්ලන්තය, නොර්වේ, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් රාජධානිය, ඇමෙරික එක්සත් ජනපදය සහ වියට්නාමය යන රාජ්‍යන් මෙම ගිවිසුමට එක්ව ඇති පාර්ශ්වයන් වේ.

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහි මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා සාමුහිකව ප්‍රතිචාර දැකිවීම සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සහ එකිනෙකාගේ ධාරිතාව ගොඩනැගීම මඟින් සහයෝගිතාවය වැඩිදියුණු කරගැනීමත්, එලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා තොරතුරු කේන්ද්‍රස්ථානයක් පවත්වා ගැනීමත් මෙම ගිවිසුම මඟින් අපේක්ෂා කර ඇති අතර, මෙම ගිවිසුමට අදාල තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය 2006 වර්ෂයේ නොවැම්බර් 29 දින සිංගප්පුරුවේදී ස්ථාපනය කර ඇත.

මෙම සමුළුවේ පිළිගැනීමේ දේශණය ආසියානු කලාපයේ නෞකාවන්ට එරෙහි මුහුදු මංකොල්ල හා සන්නද්ධ සොරකම් පිළිබඳ කලාපීය සහයෝගීතාවයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත (Governor), නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් විසින් සිදුකල අතර, එහි ආරාධිත දේශණය සිදුකල නාවික හමුදාධිපති, වත්මන් සංකීර්ණ තත්වයන් තුල ගෝලීය ආර්ථිකයේ තිරසාරත්වය උදෙසා සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමෙහි වැදගත්කම සහ ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහි මුහුදු මංකොල්ල හා සන්නද්ධ සොරකම් පිළිබඳ කලාපීය සහයෝගීතාවය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යය භාරය අගයමින්, කලාපීය පාර්ශවකරුන් අතර සහයෝගීත්වය වර්ධනය කරගැනීම මෙන්ම තොරතුරු හුවමාරුවෙහි වැදගත්කමද අවධාරනය කෙරිණි. ආසියානු කලාපයේ නෞකාවන්ට එරෙහි මුහුදු මංකොල්ල හා සන්නද්ධ සොරකම් පිළිබඳ කලාපීය සහයෝගීතාවය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණස්වාමී නටරාජන් මහතා (Executive Director ReCAAP - ISC) විසින්ද එහිදී අදහස් දැක්වීම සිදුකෙරිණි.

2024 ජුලි මස 22 සිට 25 දක්වා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වෙන මෙම සමූහ රැස්වීමෙහිදී 2024 ජුලි මස 23 සහ 24 දෙදින; ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහි මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීමට අදාලව ලබා ඇති ප්‍රගතිය, සූදානම, සිදුවීම් වාර්තා, සිද්ධි අධ්‍යයන, ආරක්ෂක ක්‍රමවේද, ගැටළු, සමුද්‍රීය ආරක්ෂාව සහ සාමූහිකව විසඳුම් සෙවීමට අදාලව පාර්ශවයන් විසින් ඉදිරිපත්කිරීම් සහ සාකච්ඡා මඟින් අදහස්, තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට නියමිතව ඇත.

තවද, මෙම රැස්වීම සඳහා ආසියානු කලාපයේ නෞකාවන්ට එරෙහි මුහුදු මංකොල්ල හා සන්නද්ධ සොරකම් පිළිබඳ කලාපීය සහයෝගීතාවය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ ඇතුළු සාමාජිකයන් තිදෙනෙකු (03), බංගලාදේශය සහ ඉන්දීයාව නියෝජනය කරමින් නියෝජිතයන් දෙදෙනෙකු (02), විදේශ කටයුතු අමාත්‍යංශය, වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව සහ Ceylon Association of Shipping Agents යන පාර්ශවයන් නියෝජන කරමින් නියෝජිතයන් තිස්තුන් දෙනෙකු (33) සහභාගී වේ.