නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 05 සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ අංක 05 පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රඳාණය අද දින (2024 ජුලි 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, 2024 ජනවාරි මස 08 වන දින සිට 2024 ජුලි මස 22 වන දින දක්වා මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පැවති බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 05 සාර්ථකව නිමකළ නාවික පුද්ගලයින් 18 දෙනෙකු වෙත නිළ ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රධානය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් මෙලෙස සිදු කරන ලදී. එහිදී, පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියා ලෙස ලුතිනන් ඩබ්ජීඑස් දීමන්ත විසින්ද, සෑම අතින්ම දක්ෂතම නාවිකයා ලෙස බලනැවි එම්කේඑම්ජීඑම්ඩී සෙනවිරත්න විසින් සහ දක්ෂතම කෘතීම බෝම්බ නිර්මාණකරු ලෙස බලනැවි ආර්එම්එස්සී රාජකරුණා විසින් සම්මාන හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ නාවික පාබල කොමදෝරු නිශාන්ත රණවීර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.