නිල සංචාරය නිමාකරමින් සීෂෙල්ස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2024 ජුලි මස 14 වන දින දිවයිනට පැමිණි සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) සිය නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද දින (2024 ජුලි 21)උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සීෂෙල්ස් බලා පිටත් විය.

මෙම නිල සංචාරයේදී සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සමඟ නිල හමුවීම් සිදුකර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම සංචාරයේදී වැලිසර පිහිටි නාවික යාත්‍රා තැනීමේ අංගනය සහ ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය නිරීක්ෂණය සඳහා සහභාගී වූ සීෂෙල්ස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පින්නවල, පේරාදෙණිය, සීගිරිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දර්ශනීය ස්ථාන නැරඹීම සඳහා සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වන්දනාමාන කිරීම සඳහා ද එක් විය.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයේ ගෞරවණීය ආරාධිතයා වශයෙන් සහභාගී වූ සීෂෙල්ස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවති රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු වැඩසටහනෙහි සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්ද සහභාගි විය.

මෙම නිල සංචාරයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, මාලා ළමාහේවා මැතිණියගේ මූලිකත්වයෙන් සීෂෙල්ස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ මැතිණිය වන මාරි සැන්ඩ්‍රා රොසේට් මහත්මිය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කෙරිණි.

තවද, මෙවැනි නිල සංචාර මඟින් වැඩිදියුනුවන සහයෝගීතාවය සහ මිත්‍රශීලි විදේශ සබඳතා තුලින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමුහිකව මැඩපැවැත්වීම සඳහා මහඟු පිටිවහලක් ගෙන දෙනු ඇත.