නෞකා වෙත ප්‍රවිෂ්ඨ වීමේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු වැඩසටහනේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ අනුග්‍රහය යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුලි මස 08 වන දින සිට 19 දින දක්වා ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපත් අවන්හල් පරිශ්‍රයේදී පවත්වන ලද රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු වැඩසටහනෙහි සහතික පත්‍ර ප්‍රදානය, 2024 ජුලි මස 19 වන දින සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ගේ ප්‍රධානත්වයෙන් විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා න්‍යෂ්ටික බලශක්ති මණ්ඩලයේ විශේෂඥ සම්පත් දායකත්වය ද සහිතව පැවති මෙම පුහුණු වැඩසටහන; බංගලාදේශය, ඉන්දියාව, කෙන්යාව, මොරිෂස්, මාලදිවයින, ටැන්සානියාව, ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් යන රාජ්‍යයන්හි හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අතර, එහිදී සාගර කලාපයේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් වලදී නෞකා හා යාත්‍රා වෙත ආරක්‍ෂිතව ප්‍රවිෂ්ඨ වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීම සාර්ථකව සිදු කෙරිණි. ඒ අනුව, එහි සහතික පත්‍ර ප්‍රදානය සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් මෙලෙස විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2024 ජුලි මස 19 වන දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.