නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, ඒ සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2024 ජුලි මස 19 වන දින ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නැගෙනහිර නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් රසායනික උපද්‍රව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදු කෙරිණි.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රවයන් අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම ප්‍රායෝගිකව සිදු කෙරිණි.

මෙම පුහුණු අභ්‍යාසය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල, ත්‍රිකුණාමලය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ත්‍රිකුණාමලය ධීවර වරාය, ප්‍රීමා ලංකා පෞද්ගලික සමාගම, ලංකා IOC පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා යුද හමුදා 22 වන පාබල සේනාංකය සහ ත්‍රිකුණාමලය ගිනි නිවීමේ ඒකකය යන පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, රසායනික ආපදාවක් කළමණාකරණය කිරීමේදී සියළුම පාර්ශවයන් හා සංවිධාන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීත්වය මෙහිදී නාවික හමුදාව විසින් අවධාරණය කරන ලද අතර, මෙවැනි අභ්‍යාස මඟින් පාර්ශවකරුවන් තුල වැඩිදියුණුවන නව දැනුම සහ කුසලතා මෙන්ම හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය තුළින් ඉදිරියේදී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.