එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මැදිහත් වීමෙන් ජපාන රජය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රිබ් (RHIB) යාත්‍රාවක් ලබා දෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මැදිහත් වීමෙන් ජපාන රජය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රිබ් (RHIB) යාත්‍රාවක් පරිත්‍යාග කිරීම, අද දින (2024 ජුලි 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, ගරු MIZUKOSHI Hideaki මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අනෙකුත් සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සඳහා, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය විසින් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවෙන පාර්ශ්වයන් ගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් නිරන්තර දායකත්වය දක්වයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ යාත්‍රා බලඝණය යොදවා සාගර කලාපයේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් වලදී නෞකා හා යාත්‍රා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නාවික හමුදාව වෙත මෙලෙස රිබ් (RHIB) යාත්‍රාවක් ලබාදීම, අද දින (2024 ජුලි 19) සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් Yuki YOKOHARI, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.