ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි සාර්ථකව පැවැත්වෙයි
කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි පැවති ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය (National Sea and Air Farers Sunday Service) 2024 ජුලි මස 14 වන දින සාර්ථකව පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීම මත නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සහ කොළඹ අගරදගුරු, ක්‍රිස්ටෝපර් බාල්රාජ් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සයුරු සහ ගඟන යාත්‍රිකයන්ගේ ඉරු දින දේව මෙහෙය, 2024 ජුලි මස 14 වන දින කොළඹ කොටුව ශාන්ත පීතර දේවස්ථානයේදි පැවැත්වීමට කටයුතු කෙරිණි.
තවද, මෙම දේව මෙහෙය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වූඩ්ස් (Colonel Darren Woods), පොලිස් නිලධාරීන්, පුහුණුවන වෙළඳ නාවික නිලධාරීන් සහ වෙළඳ නාවික ප්‍රජාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.