නාවික ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සහතික හා සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ශාස්ත්‍රීය පාඨමාලාවන් ගෙන් හා වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ පාඨමාලාවන් ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 29 වන දින වැලිසර ‘Wave n’ Lake’ උත්සව ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ශාස්ත්‍රීය පාඨමාලාවන් ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දක්වන නිලධාරීන් ඇගයීම උදෙසා ඔවුන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සහතිකපත් පිරිනැමීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.

ඒ අනුව, හත්වන වරට (07) පැවති මෙම සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයේදී 2023-2024 අධ්‍යන වර්ෂයන් තුළ නාවික ක්‍ෂේත්‍රයේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් 5 දෙනෙකු සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රදානය කරන ලදි. එහිදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති දීර්ඝ සංඥා විශේෂඥ පාඨමාලාවේ ලුතිනන් කොමාණ්ඩර් ළහිරු සම්පත් සහ දීර්ඝ අවි විශේෂඥ පාඨමාලාවේ ලුතිනන් කොමාණ්ඩර් සධීර පෙරේරා යන නිලධාරීන් වෙත පාඨමාලාවේදී දැක්වූ විශේෂ දක්ෂතා අගයමින්, බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙළෙඳ නෞකා අජිත් විජේසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර, සහතිකපත් ප්‍රදානය බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා අතින් සිදුකෙරිණි. එමෙන්ම එම නිලධාරීන් හට නාවික ආයතනයේ සාමාජිකත්වය පිරිනැමීමද එහිදී සිදුවිය.

තවද, මෙම අවස්ථාව සඳහා අද්මිරාල් සිසිල් තිසේරා (විශ්‍රාමික), අද්මිරාල් දයා සඳගිරි (විශ්‍රාමික), වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ, බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කොමදෝරු බුද්ධික ජයවීර සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් එම ආයතනයේ සාමාජිකයන් පිරිසක් සහභාගී වි සිටියහ.