2024 ජුනි මස 25 වන දින ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වර්තමාන තත්වය

2024 ජුනි මස 25 වන දින අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල විශේෂ මෙහෙයුමකදී, නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා (10) කන්කසන්තුරය වරාය වෙත 2024 ජුනි මස 25 වන දින රැගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි. කන්කසන්තුරය පොලිස් ස්ථානය මඟින් මෙම ඉන්දීය ධීවරයින් දස දෙනාට (10) එරෙහිව; මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්, මෙහෙයුමේදී නාවික හමුදා පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සහ නාවික හමුදා දේපලකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ‘බී’ වාර්තාවක් මඟින් යාපනය, මල්ලාකම් උසාවිය වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මහේස්ත්‍රාත් තුමා විසින් 2024 ජුනි මස 25 වන දින සිදුකල අතර, ජ්‍යේෂ්ඨ නාවිකයාගේ මරණය හදිසි මරණයක් බවත්, මරණයට හේතුව කශේරුකාවට හානි සිදුවීමෙන් සිදුවූ මරණයක් බවත්, නිගමනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.

මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයාගේ දේහය අද දින (2024 ජුනි 26) අළුයම අවසන් කටයුතු සඳහා ළඟම ඥාතියා වෙත භාරදුන් අතර, ජ්‍යේෂ්ඨ නාවිකයාගේ අවසන් කටයුතු ඉබ්බාගමුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව 2024 ජුනි මස 27 වන දින සිදුකිරීමට නියමිතව ඇත. එමෙන්ම,මෙම ජ්‍යේෂ්ඨ නාවිකයා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඔහු සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරමට උසස් කිරීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කල අතර, ඔහුට හිමිවන අනෙකුත් සියළුම වන්දි සහ දීමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු නාවික හමුදාව විසින් සිදු කර ඇත.

අද දින (2024 ජුනි 26) සිද්ධියට අදාල ස්ථානීය පරික්ෂාව සඳහා මල්ලාකම් උසාවියේ මහේස්ත්‍රාත් තුමා කන්කසන්තුරය වරායට පැමිණ නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ මෙහෙයුමේදී අලාභහානි සිදුවී ඇති නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව පරීක්ෂාවට ලක් කල අතර, මෙම සිද්ධියට අදාල පළමු නඩු වාරය යාපනය මල්ලාකම් උසාවියේදී 2024 ජුලි මස 22 වන දින පැවැත්වීමට නියමිතව ඇත.