නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 ජුනි මස 22 සහ 23 දෙදින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයන්හී නාවික හමුදා මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ ඉදිරි අභිප්‍රායයන් පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය උතුර ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේදී සිදු කෙරිණි.

ඒ අනුව, 2024 ජුනි මස 22 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික අණභාර නිලධාරි ත්‍රිකුණාමලය උතුර කොමදෝරු සංජීව කත්‍රිආරච්ච් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ ත්‍රිකුණාමලය උතුර ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකා වාරය සිදුකල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයට අයත් ජමාලියා වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය වෙත ගොස් එම මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර ආම්පන්න පරික්‍ෂා කිරීම්, වෙරළ තීරයේ පාමුර සංචාර සිදුකිරීම්, ධීවර බලපත්‍ර පරීක්‍ෂා කිරීම් ඇතුළු මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය කර අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරිණි.

අනතුරුව, කල්ලරාව රේඩාර් මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කල නාවික හමුදාධිපති, එම මධ්‍යස්ථානයේ කටයුතු පරික්‍ෂාවට ලක්කර රේඩාර් මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ කටයුතු වඩාත් කාර්ය්‍යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කර, කුච්චවේලි ප්‍රදේශයේ නාවික හමුදාව මඟින් සිදුකරනු ලබන ආරක්‍ෂක කටයුතු නිරීක්‍ෂණය සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ ඉදිරි අභිප්‍රායයන් පිළිබඳව මෙන්ම, කාලීන අභියෝග කළමණාකරණය පිළිබඳව ත්‍රිකුණාමලය උතුර ප්‍රදේශයේ නාවික හමුදා‍ ආයතන හා අනුඛණ්ඩයන්ට අයත් නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීමේ දේශණයක් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දුෂ්කර කාල වකවානුවක සිට රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වන පසුබිමක, විවිධ ආර්ථික සීමාවන් වෙත අනුගත වෙමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව විශාල කාර්යභාරයක් සිදු කරමින් පවතින බවත්, තම පෞද්ගලික ආර්ථික කටයුතු නිසි කළමණාකරණයකින් යුතුව පවත්වා ගනිමින් නාවික හමුදාවේ ඉදිරි කාර්යභාරය සිදු කිරීම සඳහා කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙකු වෙතින්ම අපේක්ෂා කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ උපායමාර්ගික සැලැස්මට අනුව 2030 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් බලය හා පරිපාලන කටයුතු වෙනස් වන ආකාරය, වෙරළ නිරීක්ෂණ හා සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද හා උපාංග භාවිතා කරන ආකාරය, නව නෞකා හා යාත්‍රා අත්පත් කරගැනීම් පිළිබඳ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කෙරිණි. එහිදී නාවිකයන් හට ඇති ගැටළු ඉදිරිපත් කිරීම සඳහා ද නාවික හමුදාධිපති විසින් අවස්ථාව ලබාදුන් අතර, නිල ඇඳුම් ආහාර පාන ඇතුළු සුභසාධන පහසුකම් සම්බන්ධයෙන් නාවිකයන් විසින් යොමු කල ගැටළු සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් අදහස් දක්වන ලදි.

ඉදිරියේදී බටහිර සහ දකුණු නාවික විධාන‍යන් තුළ නාවික විවාහක නිවාස පහසුකම් පුළුල් කිරීම ඇතුළු සුභසාධන ව්‍යාපෘති නාවික හමුදා පුද්ගලයන්ට හිමි කර දීමට අපේක්ෂා කරන බවත්, නාවික හමුදාවේ ඉදිරි කාර්යභාරය ඉටු කිරීම සඳහා අධිෂ්ඨානශීලිව අඛණ්ඩව කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්ෂා කරන බවත් නාවික හමුදාධිපති විසින් එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

2024 ජුනි මස 23 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, නාවික අණභාර නිලධාරි ත්‍රිකුණාමලය දකුණ කොමදෝරු රොහාන් දිසානායක ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ ත්‍රිකුණාමලය දකුණු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකා වාරය සිදුකල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය කර එම කටයුතු වඩාත් කාර්ය්‍යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි. මෙම සංචාරයේදී නාවික හමුදාධිපති මදුරන්කර්නිකුලම් ප්‍රදේශයේ සංචාරය කර, එම ප්‍රදේශය ආශ්‍රීතව ජීවත් වන මුහුදු ආදිවාසීන්ගේ ගම්මානය නිරීක්‍ෂණය සඳහා සහභාගී වූ අතර, එහිදී එම ආදිවාසීන්ගේ ප්‍රධානියා වන වේලායුදන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමටද කටයුතු කෙරිණි.

තවද, මෙම සංචාරය සඳහා ත්‍රීකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයේ ආයතනයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.