ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සහ ලෝක බෞද්ධ පෙරමුණේ වාර්ෂික සම්මේලන යාපනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහ සම්මේලනය හා ලෝක බෞද්ධ පෙරමුණේ 05 වන වාර්ෂික සම්මේලනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි මස 22 වන දින නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාව සහය ලබාදීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ අධීක්ෂණයෙන් පැවැත්වුණු මෙම සම්මේලනයේදී ගෝලීය සාමය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ බුද්ධාගම වෙනුවෙන් තරුණ සහභාගීත්වය ඇතුළු තේමාවන් ඔස්සේ සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ මහා ලේකම් අතිපූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි, ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ආචාර්ය Hnin Hnin Aye, එම සම්මේලනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය පුජ්‍ය Ming Yu, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ අතිපූජ්‍ය Shi Kuan Ru යන මහා සංඝරත්නය සහ බෞද්ධාගමික විද්වතුන් විසින් අදහස් දැක්වූහ. එමෙන්ම, මෙම ඵෙතිහාසික අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුල් දින කවරයක් එළි දැක්වීමද එහිදී සිදු කෙරිණි.
මෙම ඵෙතිහාසික අවස්ථාව සාර්ථකව පැවැත්වීම සඳහා උතුරු නාවික විධානය විසින් ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිරිනැමීම ඇතුළු ආහාරපාන සහ සියළු සැපයුම් කටයුතු සම්බන්ධීකරණය කෙරුණු අතර, ගරුතර මහා සංඝරත්නය ඇතුළු සම්මේලනය සඳහා සහභාගී වූ විශේෂ අමුත්තන් වෙනුවෙන් ආරක්ෂිතව මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීමද උතුරු නාවික විධානයේ පූර්ණ දායකත්වයෙන් හා සම්බන්ධීකරණයෙන් සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා දේශීය සහ විදේශීය ගරුතර මහා සංඝරත්නය, දෙස් විදෙස් බෞද්ධ විද්වතුන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් සහ පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.