සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

2024 ජුනි මස 21 වන දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර සඳහිරුසෑය අභියස පැවති පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, මෙම පුණ්‍ය මහෝත්සවයේදී දීඝවාපිය ස්තූපයේ තැම්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් හට වන්දනාමාන කිරීම සඳහා සඳහිරුසෑය බුද්ධ මන්දිරය තුළ තැම්පත් කර තිබූ අතර, එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, පොසොන් කලාපයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කරන ලද දන්සැල් සහ භක්ති ගී වැඩසටහන් ද ත්‍රිව්ධ හමුදා දායකත්වයෙන් පැවැත්වුණු අතර, සඳහිරු මහා සෑ රදුන් වෙත ආලෝක පූජාවක් පැවැත්වීම සහ බැතිමතුන් වෙනුවෙන් පැවැත්වුණු පොසොන් තොරණ සහ විසිතුරු සැරසිලි වලින් ද පොසොන් කලාපය වර්ණවත් විය.

තවද, මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය සහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය ආරාධිතයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.