ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ජුනි 22) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.

එමෙන්ම, ‘SAMIDARE (DD – 106)’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.