ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක්

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජිකයන් සහ පාසල් සිසුන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුනි මස 13,14,18,19 සහ 20 යන දිනයන්හිදී උතුරු මැද නාවික විධානය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඟින්; මැදවච්චිය අඹගහවැව ප්‍රාථමික විද්‍යාලය, පූනෑව ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය, මන්නාරම කඩ්ඩුකාරන් කුඩිඉරිප්පු රෝමානු කතෝලික මිශ්‍ර පාසල සහ උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා ආයතනයන්හි මෙලෙස ජංගම දන්ත වෛද්‍ය සායන පැවැත්වීම සිදු කෙරිණි.

තවද, මෙම ජංගම දන්ත වෛද්‍ය සේවාව මඟින් නාවික හමුදා සාමාජිකයින් එකසිය පහළොස් දෙනෙකු (115) හට සහ පාසල් සිසුන් එකසිය හැත්තෑ පස් දෙනෙකු (175) හට ප්‍රතිකාර ලබා දීමත්, යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පාසල් දරුවන් සහ නාවික පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත් සිදු කෙරිණි.