නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුනි 19) උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, යාපනය ශික්ෂණ රෝහලෙහි සහ තෙලිප්පලෙයි මූලික රෝහලෙහි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයන්හි හදිසි රුධිර අවශ්‍යතාවයන් වෙනුවෙන්, එම රෝහල් වෙතින් සිදුකෙරුණු ඉල්ලීම් අනුව සංවිධානය කෙරිණි.

තවද, විධාන රෝහල් කාර්යය මණ්ඩලය, යාපනය ශික්ෂණ රෝහල සහ තෙලිප්පලෙයි මූලික රෝහල් කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන්දීම සඳහා දායක වූහ.