RIMPAC - 2024 අභ්‍යාසය සඳහා සහභාගී වන නාවික හමුදා මැරීන් කණ්ඩායම වෙත නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා ධජ පළඳවයි

ඇමෙරිකානු නාවික හමුදාවේ ඉන්දු ශාන්තිකර විධානය (US Indo Pacific Command) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2024 (RIMPAC 2024) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හය දෙනෙකු (06) සහ නාවිකයන් දහසය දෙනෙකු (16) ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ශ්‍රී ලංකා ධජය පැළඳවීම අද දින (2024 ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

29 වැනි වරටත් පැවැත්වෙන ලොව විශාලතම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය වන RIMPAC 2024 සඳහා රාජ්‍යයන් විසි නවයක් (29) නියෝජනය කරමින් හමුදා පුද්ගලයන් විසිපන්දහසකට (25000) වැඩි පිරිසක් සමඟ යුද නෞකා හතලිහක් (40), සබ්මැරීන හතරක් (04), ගුවන් යානා එකසිය හැත්තෑ එකක් (171) සහ ගොඩබිම් බලකා දහහතරක් (14) එක්වීමට නියමිත අතර, අභ්‍යාසය 2024 ජූනි මස 27 වන දින සිට අගෝස්තු මස 01 වන දින දක්වා ‍ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා ඒ ආශ්‍රිත සාගර කලාපයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා සහභාගී වන නාවික හමුදා මැරීන් කණ්ඩායම 2024 ජුනි මස 25 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

රිම් ඔෆ් ද පැසිෆික් - 2024 බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය තුළදී ප්‍රති සබ්මැරීන යුද උපක්‍රම, නෞකා විශාල ප්‍රමාණයක් එක්ව සිදුකරන මෙහෙයුමකදී අනුගමනය කරනු ලබන සංග්‍රාමික උපක්‍රම, බහු ජාතික භූ ජලතරණ මෙහෙයුම් සහ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් වශයෙන් පුළුල් පරාසයක සිදු කෙරෙන අභ්‍යාස තුළින් මෙහෙයුම් අත්දැකීම් ලබා ගැනීමට පාර්ශවකරුවන් හට අවස්ථාව උදාවේ.

එමෙන්ම, මෙවැනි බහුපාර්ශවීය සමුද්‍රීය අභ්‍යාස සඳහා සහභාගීවීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට සාගර කලාපයේ සහ ඉන් ඔබ්බට ජාත්‍යන්තර සාගර කලා‍පය දක්වා පුළුල් සාගරික වපසරියක ‍සිදුකරනු ලබන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩපැවැත්වීමේ මෙහෙයුම් සහ ඒකාබද්ධ සමුද්‍රීය බලකාය වැනි බහුපාර්ශවීය සමුද්‍රීය බලකා සමඟ සන්ධානගතව සිදු කෙරෙන නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම ඇතුළු සියළු සාගරික මෙහෙයුම් සඳහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, නව සමුද්‍රීය අභියෝග හඳුනා ගැනීමටත් සහ ඒ සඳහා සාමූහිකව විසඳුම් සෙවීමටත් අවස්ථාව උදාවනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා වැඩ බලන ආඥාපති නාවික පාබල කොමදෝරු සනත් පිටිගල, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු උපුල් සමරකෝන් සහ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මැරීන් කොමාණ්ඩර් ඉන්දික විජේරත්න යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.