ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 458 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පනස් පස් දෙනෙකු (355) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය තුන් දෙනෙකු (103) ඇතුළු ආධුනික නාවිකයින් හාරසිය පනස් අට දෙනෙකු (458) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 ජුනි මස 14 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් චමින්ද ගුණරත්න ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, වයඹ නාවික විධා‍නයේ ආඥාපති, රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ‍සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, නිත්‍ය අංශයේ නාවිකයින් දෙසිය හැත්තෑ හතරක් (274), නිත්‍ය අංශයේ කාන්තා නාවිකයන් අසූ එකක් (81), ස්වේච්ඡා අංශයේ නාවිකයන් තිස් හතක් (37) සහ ස්වේච්ඡා අංශයේ කාන්තා නාවිකයන් හැට හයක ගෙන් (66) සමන්විත 254 වන බඳවා ගැනීමේ දක්‍ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නාවික ඊඒඑම්එල්එස් ජයසිංහ විසින් ප්‍රධාන ආරාධිතයා වෙතින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම, 254 වන බඳවා ගැනීමේ සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නාවික පීඒපීඑම් පෙරමුණ විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නාවික ඩබ්එම්පීකේඑම් දිසානායක විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නාවික ඩබ්ඒඑන්ඒ වීරප්පෙරුම විසින් සහ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නාවික එන්එච්ඩබ්කේ දිසානායක විසින් හිමි කර ගන්නා ලද අතර, 254 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘සාගර’ අංශය හිමි කර ගන්නා ලදි.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ වයඹ නාවික විධා‍නයේ ආඥාපති, රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, නව තාක්‍ෂණයෙන් හා දැනුමෙන් සන්නද්ධව වෘත්තීමය නාවික හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා ඉදිරියට පැවරෙන රාජකාරීන් නිසි ලෙස ඉටුකර මව්බිම සුරැකීමටත්, මව්බිම වෙත අත්කර දුන් සැබෑ නිදහස අනාගත පරපුර වෙත දායාද කරදීමට කාර්යශූර සහ විනයගරුක නාවිකයෙකු ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බවත් පවසන ලදි.

එමෙන්ම, ආර්ථික දුෂ්කරතා හමුවේ මතුවන අභියෝග කළමනාකරණය සඳහා නාවික හමුදා පුද්ගලයන් වශයෙන් පැවරෙන රාජකාරීන් නොපිරිහෙලා සිදුකිරීම සැමගේ වගකීම බව පැවසු රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ, විසිර යන ආධුනික නාවිකයන් පුහුණුවෙන් ලද පන්නරය සහ විනය ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවමින් ඉදිරියේදී නාවික හමුදාවට පැවරෙන ඕනෑම වගකීමක් ඉටුකිරීමට අධිෂ්ඨානශීලීව කැපවිය යුතු බවත් පවසන ලදි. රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද සිය ප්‍රණාමය පුද කිරීම එහිදී ඔහු කටයුතු කෙරිණි.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ඉන්දික ගුණවර්ධන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිලධාරීන්, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් මෙන්ම විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගී වී සිටියහ.