ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් පොත් හා ප්‍රකාශන ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පරිශීලනය සඳහා ප්‍රදානය කෙරුණු පොත් හා ප්‍රකාශන සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාරදීම, අද දින (2024 ජුනි 14) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston විසින් සිදු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරී පුහුණු කිරීම, නිලධාරීන‍්ගේ සහ නාවිකයන්ගේ උසස් පුහුණු හා විශේෂඥ පුහුණු පාඨමාලා පවත්වනු ලබන ප්‍රමුඛතම පුහුණු ආයතනය වන අතර, එහි පුහුණුව ලබන නාවික හමුදා පුද්ගලයන්ගේ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කිරීම වෙනුවෙන් මෙම පොත් හා ප්‍රකාශන මෙලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙතින් ප්‍රදානය කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝසප් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.