නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න අද දින (2024 ජුනි 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1989 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ‍කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 07 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ කපිතාන් විදුලි දෙපාර්තමේන්තුව (උතුර), කපිතාන් විදුලි දෙපාර්තමේන්තුව (දකුණ), නියෝජ්‍ය අධිකාරි තටාකාංගණය (විද්‍යුත්) නැගෙනහිර, වැඩ බලන කොමදෝරු විදුලි හා විද්‍යුත් දෙපාර්තමේන්තුව (නැගෙනහිර), ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ව්‍යාපෘති කළමණාකරු විදුලි ඉංජිනේරු, කොමදෝරු අධිකාරි තටාකාංගණය (නැගෙනහිර), අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (ව්‍යාපෘති හා උපයෝගිතා), කොමදෝරු විද්‍යුත් දෙපාර්තමේන්තුව (බටහිර), අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (විද්‍යුත්, දුරකථන සන්නිවේදන සහ ජීව ‍වෛද්‍ය ඉංජිනේරු), අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (පරිපාලන හා උපයෝගිතා), අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් උපයෝගිතා සහ ජීව වෛද්‍ය ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.