නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 ජුනි මස 10 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදා මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ ඉදිරි අභිප්‍රායයන් පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, සහ නාවික අණභාර නිලධාරි ත්‍රිකුණාමලය දකුණ කොමදෝරු රොහාන් දිසානායක ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකා වාරය සිදුකල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ මෙහෙයුම් කටයුතු, පුහුණු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරිණි. අනතුරුව, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ ඉදිරි අභිප්‍රායයන් පිළිබඳව මෙන්ම, කාලීන අභියෝග කළමණාකරණය පිළිබඳව ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නාවික හමුදා‍ ආයතන හා අනුඛණ්ඩයන්ට අයත් නිලධාරීන් දැනුවත් කිරීමේ දේශණයක් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දුෂ්කර කාල වකවානුවක සිට රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වන පසුබිමක, විවිධ ආර්ථික සීමාවන් වෙත අනුගත වෙමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව විශාල කාර්යභාරයක් සිදු කරමින් පවතින බවත්, තම පෞද්ගලික ආර්ථික කටයුතු නිසි කළමණාකරණයකින් යුතුව පවත්වා ගනිමින් නාවික හමුදාවේ ඉදිරි කාර්යභාරය සිදු කිරීම සඳහා කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙකු වෙතින්ම අපේක්ෂා කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද සමුද්‍රීය ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර නාවික හමුදාව අඛණ්ඩව ගනු ලබන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම, අනවසර ධීවර කටයුතු ඇතුළු සාගර කලාපයේ නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම පමණක් නොව, රටේ ඇතිවන හදිසි තත්වයන් සහ ස්වභාවික ආපදාවන්හීදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් ආරක්ෂක අංශ හා එක්ව නාවික හමුදාව අවශ්‍ය පියවර ගන්නා බවත් පවසන ලදි.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමේ දැක්මට අනුව හමුදාවන්ගේ හැකියාවන් හා පිරිස් බලය අවශ්‍ය මට්ටමට පවත්වා ගැනීමේ සැලැස්ම ප්‍රකාරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපායමාර්ගික සැලැස්ම - 2030 විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සකස් කරන ලද බව පැවසූ නාවික හමුදාධිපති, 2030 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් බලය හා පරිපාලන කටයුතු වෙනස් වන ආකාරය, වෙරළ නිරීක්ෂණ හා සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද හා උපාංග භාවිතා කරන ආකාරය එමඟින් ඉදිරිපත් කර ඇති බවත් පවසන ලදි. එම උපායමාර්ගික සැලැස්මේ අභිප්‍රායයන් ළඟා කර ගැනීම සඳහා නව දැනුම හා කුසලතාවන්ගෙන් නාවික හමුදාවේ පිරිස් බලය සන්නද්ධ විය යුතු බවත්, ඒ සඳහා කෙතරම් දුෂ්කරතා හමුවේ වුවද දෙස් විදෙස් වැඩිදුර පුහුණු කටයුතු සඳහා අඛණ්ඩව යොමුවීම අවශ්‍ය බවත් නාවික හමුදාධිපති විසින් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය පරිසර ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දේශීය ජල තීරයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර මුහුද දක්වා වූ පුළුල් සමුද්‍රීය වපසරියක නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් සහ ධීවර හා නාවික ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන දායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් ඇතිවී ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හැකියාවන් සහ ධාරිතා වර්ධනය වෙනුවෙන් මෙන්ම, ජල ශාස්ත්‍රීය සේවාවේ මෙ‍හෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් කලාපීය හා කලාපීය නොවන සමුද්‍රීය පාර්ශවයන් වෙතින් ඉදිරියේදී විශාල දායකත්වයක් ලැබීමට නියමිත බවත්, මුහුදු සිතියම් නිර්මාණය හා යාවත්කාලීන කිරීම තුළින් ර‍ටට විදේශ විනිමය ගෙනදීමටත්, සමුද්‍රීය පරිසරය ඔස්සේ ගොඩනැ‍ඟෙන නීල ආර්ථිකය ශක්තිමත් කිරීමටත් එමඟින් නාවික හමුදාවට අවස්ථාව උදා වන බවත් පවසන ලදි.

නාවික හමුදාව විසින් සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකරනු ලබන යටිතල පහසුකම් සංවර්ධන කටයුතු තුළින් ඉදිරියේදී සමුද්‍රීය සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් ගෙනු දෙනු ඇති බව පැවසූ නාවික හමුදාධිපති, ඒ තුළින් ඉදිරියේදී විවර වන පුළුල් ක්ෂේත්‍රයක රැකියා අවස්ථාවන්ගේ ප්‍රතිලාභ නාවික හමුදා පුද්ගලයන්ටද හිමිවනු ඇති බවත්, කලාපීය මෙන්ම කලාපීය නොවන රාජ්‍යයන්ගේ නාවික හමුදාවන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්නා මිත්‍රශීලි සබඳතා සහ සහයෝගීත්වය තුළින් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙන්ම ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී සහය ලබා ගැනීමේ හැකියාව ඇති බවත්, එම සබඳතා තුළින් නාවික හමුදාවට සහ රටට ප්‍රතිලාභ හිමිවන බවත් පවසන ලදි.

එලෙස නාවික හමුදාව රටේ සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් සිදුකරමින් සිටියදී, ඇතැම් නාවික හමුදා පුද්ගලයන් ආර්ථික දුෂ්කරතා හමුවේ කෙටි මාර්ගයෙන් මුදල් ඉපයීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම, අනවසර සංක්‍රමණ, අන්තර්ජාල සූදු ක්‍රීඩා ඇතුළු නීති විරෝධී කටයුතු සඳහා සහය වීම, අනුබල දීම හෝ ආධාර උපකාර කිරීම තුළින් නාවික හමුදාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන්ගේ නාවික හා සිවිල් ජීවිතයද කඩා වැටීමක් සිදුවන බවත්, එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී, අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කල නාවික හමුදාධිපති, නාවික හමුදා සුභසාධන අංශය සහ සේවා වනිතා ඒකකය විසින් හඳුන්වා දී ඇති සුභසාධන පහසුකම් තුළින් නාවික හමුදා පුද්ගලයන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් සලසා ගත හැකි බවත් පවසන ලදි.

තවද, ඉදිරියේදී බටහිර සහ දකුණු නාවික විධාන‍යන් තුළ නාවික විවාහක නිවාස පහසුකම් පුළුල් කිරීම සහ නාවික හමුදාවට බැදීමේදී හදුන්වා දෙන ආයෝජන සැලැස්මක් තුළින් නාවික හමුදාවෙන් ඉවත් වන විට නිවසක හිමිකම ලබාදීම වැනි සුභසාධන ව්‍යාපෘති නාවික හමුදා පුද්ගලයන්ට හිමි කර දීමට අපේක්ෂා කරන බවත්, බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරමින් නාවික හමුදාවේ ඉදිරි කාර්යභාරය ඉටු කිරීම සඳහා අධිෂ්ඨානශීලිව අඛණ්ඩව කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්ෂා කරන බවත් නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදි.