ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ, ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව මීගමුව වයික්කාල කළපු ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා නාවික හමුදාව, DFCC බැංකුව හා එක්ව, 2024 ජුනි මස 07 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය හා තිරසාරත්වය රැකදීම වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය ඇතුළු පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය දක්වයි.

ස්වභාවික හේතූන් මත කලපු, ගංඟා, මෝය සහ ඉවුරු ආශ්‍රිත වෙරළ පරිසරය ඛාදනය වැළැක්වීම, ඉහළ කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණ හැකියාව තුළින් වාතාශ්‍රය පිරිසිදු වීම හා දිගුකාලීන ගෝලීය උණුසුම පාලනය, මත්ස්‍යයන් හට ස්වභාවික අභිජනන පරිසරයක් නිර්මාණය කිරීම වැනි ඉහළ පාරිසරික වටිනාකමක් ඇති මෙම කඩොලාන පරිසර පද්ධතිය අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇති කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගංඟා, මෝය හා කලපු ආවරණය වන පරිදි කඩොලාන රෝපණය කිරීම අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය, DFCC බැංකුව හා එක්ව මීගමුව වයික්කාල කළපු ප්‍රදේශයේ 2024 ජුනි මස 07 වන දින සිදුකල මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහන යටතේ කඩොලාන පැළ හාරසියයක් (400) රෝපණය කිරීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් තරංග ජයසූරිය, DFCC බැංකුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ විශ්ව විද්‍යාල සිසුන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.