ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ කෞතුකාගාරයක් ස්ථාපනය සඳහා මුල්ගල තබයි

ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා විකාශනය තුළ වැදගත් අවස්ථා හා සිදුවීම් පිළිබඳ ඵෙතිහාසික වැදගත්කමක් ඇති ඡායාරූප සහ සිහිවටන සංරක්ෂණය කර තැබීම සඳහා කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් මුල්ගල තැබීම අද දින (2024 ජුනි 10) ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන් වැලිසර ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

1937 අංක 01 දරණ ස්චේච්ඡා නාවික හමුදා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට රාජකීය ලංකා ස්චේච්ඡා නාවික හමුදාව ලෙස ක්‍රමිකව විකාශනය වූ ස්චේච්ඡා නාවික හමුදාව, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදාව බවට පරිවර්තනය විය. එලෙස දීර්ඝ ඉතිහාසයක් පුරා විකාශනය වූ ස්චේච්ඡා නාවික හමුදාවේ වැදගත් අවස්ථා හා විශේෂ සිදුවීම් සම්බන්ධ ඵෙතිහාසික වැදගත්කමක් ඇති ඡායාරූප සහ සිහිවටන අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කර තැබීමේ අරමුණින් මෙලෙස කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම සඳහා මුල්ගල තැබීම අද දින (2024ජුනි 10) සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු (ස්වේ) සුසන්ත ධර්මසිරි, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් (ස්වේ) එම්බීඑන්ඒ පේමරත්න ඇතුළු ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.