‘සැපයුම් සම්මන්ත්‍රණය- 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2024 ජුනි මස 08 සහ අද දින (2024 ජුනි 09) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, සැපයුම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය, මොරටුව විශ්වවිද්‍යාලයේ සැපයුම්දාම කලමණාකරන අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලේස් පෙරේරා විසින් සිදුකෙරිණි.

‘Navigating Sustainably: The Economic Resilience Through Contemporary Logistics Management’ යන තේමාව යටතේ දිවයිනේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයන්ගේ වෘත්තීය ශාස්ත්‍රීය ප්‍රවීණයන් ගේ සහභාගීත්වයෙන් විද්වත් අදහස් හුවමාරුව සඳහා මෙම සම්මන්ත්‍රණය, 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කල කාලෝචිත පර්යේෂණ නිබන්ධන හයකින් (06) යුත් සැසි තුනකින් සමන්විත විය.

ඒ අනුව, පළමු සැසිය “Transformative Logistics for Sri Lanka's Economic Renaissance ” යන තේමාව යටතේත්, දෙවන සැසිය “Public-Private Synergy: Driving Economic Prosperity through Logistics” යන තේමාව යටතේ සහ තෙවන සැසිය “Green Horizons: Steering Sustainable Logistics for Economic Resilience” යන තේමාව යටතේත් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සැපයුම් සම්මන්ත්‍රණය - 2024 හි තේමාවට අනුව, සැපයුම් කළමනාකරණය මඟින් ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම යන්න ඉතාමත් කාලීන තේමාවක් බවත්, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමේ රජයේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපායමාර්ගික සැලැස්ම - 2030 සාක්ෂාත් කරගැනීම සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සහ මෙවැනි සම්මන්ත්‍රණ මඟින් වෘත්තිකයන් නාවික හමුදාව වෙත දායාද කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, තිස් අවුරුදු මානුෂීය මෙහෙයුම සඳහා විශාල කැප කිරීමක් සිදු කළබවත් බවත්, ඒ තුළින් ආරක්‍ෂක හමුදාවන් හට තිරසාර සාමයක් මව්බිමට ගෙන ඒමට හැකිවූ බවත්, ආර්ථිකයේ ඔරොත්තු දිමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛ වැදගත්කමක් දරණ බවත් පවසන ලදි. නාවික හමුදාව ජාතික ආරක්ශාව පමණක් නොව ජාත්‍යන්තර ආරක්‍ෂාව සඳහා ද දායක වන හමුදාවක් බවට විශාල පිළිගැනීමක් ඇති බවත්, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ මෙහෙයුම් සඳහා දායක වීම, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් කලාපය පමණක් නොව යාබද සමුද්‍රීය සෙවීම් කලාප තුලද සාර්ථක මෙහෙයුම් සිදුකිරීම මෙන්ම, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමුහිකව මුහුණදීම ඇතුළු ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර සමුද්‍රීය බැඳීම සාර්ථකව ඉටු කිරීම ඊට හේතුවී ඇති බවත් පවසන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපායමාර්ගික සැලැස්ම 2030 ට අදාලව නාවික හමුදාවේ සැපයුම් කළමනාකරනය සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින් බිහිවන සැපයුම් විශේෂඥයින් හට ඉදිරියේදී විශාල කාර්යය භාරයක් පවතින බව පැවසූ නාවික හමුදාධිපති, ‘සැපයුම් සම්මන්ත්‍රණය- 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් සහය වූ සියළු පාර්ශවයන් වෙත සිය ප්‍රණාමය පුදකරන බවත් පවසන ලදි.

තවද, මෙම සැපයුම් සම්මන්ත්‍රණය අවසානයේ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහතික පත්‍ර ප්‍රධානය කිරීම සිදු කෙරුණි. එහිදී, ලුතිනන් කොමාණ්ඩර් (සැ) එච්අයිකේ පීරිස් පාඨමාළාවේ නාවික විෂයන් ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරියා ලෙසත්, ලුතිනන් කොමාණ්ඩර්(සැ) ඒඩීඑස් සපුකොටුන වඩාත් උනන්දුවෙන් පාඨමාලාව සිදුකළ නිලධාරියා ලෙසත් ත්‍යාග සහ කුසලාන හිමිකර ගන්නා ලද අතර, 2023 වර්ෂයේ 07 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ලුතිනන් කොමාණ්ඩර් (සැ) කේඩීපීඑම් කත්‍රිආරච්චි වෙතද නාවික හමුදාධිපති විසින් ත්‍යාග සහ කුසලාන ප්‍රදාණය කිරීම සිදුකෙරිණි.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් විද්‍යාපීඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ඇතිව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානය සහ එක් එක් නාවික විධාන නියෝජනය කරමින් නාවික හමුදා සැපයුම් අංශයේ ප්‍රධානීන්, යුද, ගුවන් සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, විදේශීය නාවික හමුදා නිලධාරීන් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.