නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කල 1000 වන ප්‍රතිආශ්‍රැත ජලපිරිපහදු මධ්‍යස්ථානය ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අරඹන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා තාක්‍ෂණික ශීල්පීය දායකත්වයෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය දායකත්වයෙන් ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ ස්ථාපනය කළ 1000 ස් වන ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද දින (2024 ජුනි 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් 2015 වර්ෂයේදී අරඹන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපෘතිය, මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් පිටුදැකීම සඳහා සුදුසු ජාතික ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමෙන් පසුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කෙරුණු අතර, 2019 වර්ෂයේදී එම වගකීම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත පැවරීමෙන් අනතුරුව, නාවික හමුදාව ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යෘපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, එවකට නාවික හමුදාධිපති ලෙස ක‍ටයුතු කල අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ මඟ පෙන්වීම මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ දහස්වන (1000) ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම දක්වා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පවත්වා ගෙන යාමට හැකිවීම සම්බන්ධයෙන් නාවික හමුදා පුද්ගලයින් වශයෙන් සතුටට පත් වන බව ප්‍රකාශ කරන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පිරිසිදු පානීය ජලය නොමැති ජනතාවට අවශ්‍ය පිරිසිදු ජලය සපුරා දීම සඳහා විශාල දායකත්වයක් ගෙන දෙන බැවින්, මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වා ගෙන යන බවත්, ඒ වෙනුවෙන් සහය වන සියළු පාර්ශවයන් වෙත ප්‍රණාමය පිරිනමන බවත් පවසන ලදි.

ඒ අනුව, 2015 වර්ෂයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩවත් රඹෑව ප්‍රදේශයේ ප්‍රථම ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමෙන් ඇරඹුණු මෙම ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය මඟින්, උතුරු පළාතේ ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන 161 ක්, උතුරු මැද පළාතේ 340 ක්, වයඹ පළාතේ 149 ක්, මධ්‍යම පළාතේ 54 ක්, බස්නාහිර පළාතේ 10 ක්, සබරගමුව පළාතේ 13 ක්, දකුණු පළාතේ 22 ක්, ඌව පළාතේ 155 ක්, නැගෙනහිර පළාතේ 92 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‍විශාල නෞකා තුල ජල පිරිපහදු ඒකක 04ක් වශයෙන්, මේ වන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන දහසක් ස්ථාපනය කර ඇත.

එමෙන්ම, වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා අවශ්‍ය වන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර නිර්මාණය කිරීම නාවික හමුදාව විසින් 2017 වර්ෂයේ අරඹන ලද අතර, මේ වන විට රජයේ රෝහල් 25ක වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර 26ක ප්‍රමාණයක් ස්ථාපනය කර ඇත. වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර ඇතුළුව නාවික හමුදාව මඟින් ස්ථාපනය කෙරුණු සියළු ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර අළුත්වැඩියාව සහ නඩත්තුව අඛණ්ඩව නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

වෙළඳපලේ පවත්නා මිලට වඩා අඩු මුදලකට ඉහළ ගුණාත්මකභාවයකින් සහ ප්‍රමිතියකින් යුතුව නාවික හමුදාව මඟින් නිර්මාණය කරනු ලබන ජලපිරිපහදු යන්ත්‍ර දිවයිනේ ප්‍රදේශ ගණනාවක මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීම සඳහා මහඟු දායකත්වයක් ගෙන දෙනු ලබන අතර, මෙම සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සදහා විවිධ පාර්ශවයන් පෞද්ගලිකව, සාමූහිකව මෙන්ම, ආයතනික වශයෙන් සිදුකරනු ලබන අනුග්‍රාහක දායකත්වය තුලින් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් මහජනතාව වෙත උරුම කරදීමට නාවික හමුදාවට විශාල ශක්තියක් ගෙනදී ඇත.

ඒ අනුව, අද දින (2024 ජුනි 05) ජනතා අයිතියට පත්කෙරුනු මෙම ප්‍රතිආශ්‍රැත ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ දරු දැරියන්ගේ පමණක් නොව පාළුකඩවල සහ අවට ප්‍රදේශවාසීන්ගේද පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ගෞරවණීය මහා සංඝ රත්නය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ, නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් දු දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.