ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර ඉස්ලාමාබාද් හි පැවති හයවන මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හයවන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය (6th Pakistan Navy - Sri Lanka Navy Expert Level Staff Talks (ELST) 2023 මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි සාර්ථකව පැවැත්වුනු අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවයත්, රියර් අද්මිරාල් Faisal Amin Hi (M) ගේ ප්‍රධානත්වයෙන් පාකිස්ථානු නාවික හමුදා පාර්ශවයත් සාකච්ඡා වාරය සඳහා සහභාගී විය.

ඒ අනුව, මෙම 06 වන මාණ්ඩලික සාකච්ඡා වාරයේදී, පසුගිය මාණ්ඩලික සාකච්ඡාවන්ගේ ප්‍රගතිය පිළිබඳව සහ මෙවර සාකච්ඡාවේ න්‍යාය පත්‍රයට අදාලව අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරුණු අතර, දෙපාර්ශවයේ මාණ්ඩලික සාකච්ඡා ප්‍රගතිය සහ එහිදී එළඹුනු තීරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දෙපාර්ශවයේ ඇති කැපවීම පිළිබඳ එකඟතාවය පළ කරමින් අදහස් දැක්වීම සිදු කෙරිණි.

එමෙන්ම, පාකිස්ථානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සිදු කෙරුණු 06 වන මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව නිමාවට පත්වීම මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන ශක්තිමත් මිත්‍රශීලී සබඳතාවය වඩාත් ශක්තිමත් වීමත්, එමඟින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් දෙපාර්ශවය වෙත හිමි වනු ඇත.

තවද, මෙම සාකච්ඡා වාරය සඳහා අධ්‍යක්‍ෂ නාවික පුහුණු කොමදෝරු බුද්ධික ජයවීර, අධ්‍යක්‍ෂ ඉංජිනේරු සේවා කොමදෝරු චන්දන බෝපගොඩ සහ ලුතිනන් කොමාණ්ඩර් එරන්ද රත්නායක යන නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවයෙන් සහභාගී වූහ.