ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අදාළ ප්‍රථම රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය (National Nuclear Security Administration of United State of America) සමඟ 2024 පෙබරවාරි මස 28 වන දින, ශ්‍රී ලංකාවට අයත් දේශසීමා මායිම් ඔස්සේ විශේෂ න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍යයන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය, ජාවාරම් කිරීම පිළිබඳ හඳුනා ගැනීම හා අත්අඩංගුවට ගැනීම සඳහා තාක්ෂණික හා ක්‍රමවේදීය වශයෙන් ද්වීපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමකට එළඹුන අතර, ඊට අදාල මූලික විෂය පථය පිළිබඳ සාකච්ඡා කිරීමේ දෙදින රැස්වීමක් 2024 ජුනි මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ විය.

ඒ අනුව, මෙම මූලික විෂය පථය පිළිබඳ සාකච්ඡා කිරීමේ දෙදින රැස්වීමේ පළමු දිනයේදී අවබෝධතා ගිවිසුමට අදාලව ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානයේ මෙරට කළමනාකරු වශයෙන් කටයුතු කරනු ලබන Michael Conner ගේ ප්‍රධානත්වයෙන් යුත් එම මධ්‍යස්ථානයේ දූත පිරිසක් සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී සිටියහ.