මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නියෝජිත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Kikuchi Noboyuki මහතා ඇතුළු නියෝජිත පිරිසක් 2024 මැයි මස 30 සහ 31 යන දිනයන්හිදී නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත විය.

ඒ අනුව, මෙම නියෝජිත පිරිස 2024 මැයි මස 30 දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

2024 මැයි මස 31 වන දින නැගෙනහිර නාවික විධානයේ සිදුකල සංචාරයේදී එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ සමඟ සිදුකෙරුණු නිල හමුවෙන් අනතුරුව, ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ නියෝජිත පිරිස විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති Rigid Hull Inflatable Boat (RHIB) හැසිරවීමේ පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවයේ සහතිකපත් ප්‍රදානය සඳහා සහභාගී විය.

තවද, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.