ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් නාවික හමුදාව සම්බුදු තෙමඟුල සමරයි

2024 මැයි මස 23 වන දිනට යෙදුණු සම්බුදු තෙමඟුල සැමරීමේ වෙසක් උත්සවය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කෙරුණු අතර, මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය, බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මී වෙසක් කලාපය, දියත උයන වෙසක් කලාපය, මහර කඩවත වෙසක් කලාපය සහ කොල්ලුපිටිය වාළුකාරාමය වෙසක් කලාපය සඳහා ද නාවික හමුදාව බැති සිතින් දායකත්වය දැක්වීම සිදුකෙරිණි.

ඒ අනුව නාවික හමුදාව විසින්, කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් නිර්මාණය කරන ලද විචිත්‍රවත් පහන් කූඩූ ප්‍රදර්ශනය කිරීම, ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට බේරේ වැවෙහි සහ ෂැංග්‍රිලා හෝටලය පිටුපස කොටසෙහි යාත්‍රා මත සිට භක්ති ගීත ගායනා ඉදිරිපත් කිරීම සහ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා විදුලි ආලෝක සැරසිලි ආදිය සඳහා නාවික හමුදාව දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

එමෙන්ම, සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගාලු මුවදොර ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන බෞද්ධාගමික වැඩසටහන් සඳහාද නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරෙන අතර, එම වැඩසටහන් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 මැයි මස 23 වන දින සහභාගී විය.