ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දළදා මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දළදා මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය, ගරුතර මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 23 වන දින කෝට්ටේ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිගේ අනුශාසකත්වයෙන් සහ නාවික හමුදාවේ පූර්ණ ශිල්පීය දායකත්වයෙන්, ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පිහිටි දළදා මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වර්ෂයේ ඔක්තෝබර් මස 11 වන දින ආරම්භ කෙරිණි. එම ප්‍රතිසංස්කරණ කටයුතු 2024 ජුනි මස 11 වන දින නිමවීමට නියමිතව ඇති අතර, දළදා මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙලෙස 2024 මැයි මස 23 වන දින බැති සිතින් සිදු කෙරිණි.

එමෙන්ම, කොත නිරාවරණයෙන් අනතුරුව, ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිගේ මූලිකත්වයෙන් පැවති බෞද්ධ ආගමික වත් පිළිවෙත් සඳහා ද නාවික හමුදාධිපති සහභාගී විය.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ගරුතර මහා සංඝ රත්නය වැඩමවා වදාළ අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් මෙන්ම, ප්‍රදේශවාසී සැදැහැවත් බැතිමතුන් ද සහභාගී වී සිටියහ.