නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ 45 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2023 වර්ෂයේ බඳවා ගැනීමට අයත් යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 45 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අද දින (2024 මැයි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ හෙද අධ්‍යාපන සහ ශ්‍රී ලංකා හෙද සභාවේ සභාපති ඩබ්ඒ කීර්තිරත්න මහතා සහභාගී විය.

ඒ අනුව, නාවික හෙද විදුහලේ 2023 වර්ෂයේ බඳවා ගැනීමට අයත් යුද හමුදා හෙද සිසුන් හත් දෙනෙක් (07) නාවික හමුදා හෙද සිසුන් තිස් පස් දෙනෙක් (35) සහ ගුවන් හමුදා හෙද සිසුන් තිදෙ‍නෙක් (03) වෙත හිස් වැසුම් පැළඳවීම සහ තුන්සිළු පහන් ප්‍රධානය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ හෙද අධ්‍යාපන සහ ශ්‍රී ලංකා හෙද සභාවේ සභාපති ඩබ්ඒ කීර්තිරත්න මහතා, අධ්‍යක්‍ෂිකා (හෙද වෛද්‍ය සේවා) එම්බීසී සමන්මලී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය පීඨයන්හි කථිකාචාර්යවරුන්, කඳාන කොළඹ සහ කළුතර හෙද විදුහල්වල විදුහල්පතිවරුන්, ජ්‍යේෂ්ඨ හෙද ආචාර්යවරුන්‍ගේ සහ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරීන් විසින් සිදු කෙරිණි.

මෙහිදි පළමු අර්ධ වාර්ෂික පරීක්‍ෂණ විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් හෙද සිසුන් හට විෂය ප්‍රවිණතා පදක්කම් ප්‍රදානය කිරීම අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් ජනක මාරඹේ විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.