නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් හම්බන්තොට වරායේදී සාර්ථකව පවත්වයි

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, ඒ සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් 2024 මැයි මස 17 වන දින හම්බන්තොට වරායේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, දකුණු නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් රසායනික උපද්‍රව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදු කෙරිණි.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රවයන් අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම ප්‍රායෝගිකව සිදු කෙරිණි.

මෙම පුහුණු අභ්‍යාසය සඳහා හම්බන්තොට වරාය සහ හම්බන්තොට වරායේ ගිනි නිවීම් ඒකකය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, රසායනික ආපදාවක් කළමණාකරණය කිරීමේදී සියළුම පාර්ශවයන් හා සංවිධාන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීත්වය මෙහිදී නාවික හමුදාව විසින් අවධාරණය කරන ලද අතර, මෙවැනි අභ්‍යාස මඟින් පාර්ශවකරුවන් තුල වැඩිදියුණුවන නව දැනුම සහ කුසලතා මෙන්ම හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය තුළින් ඉදිරියේදී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.