නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 මැයි මස 19 වන දින ගිණිකොන නාවික විධාන නාවික රෝහලේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ගේ අධීක්‍ෂණයෙන් සහ ගිණිකොන නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පිහිටි රුධිර බැංකුවේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලද අතර, ඒ සඳහා ගිණිකොන නාවික විධාන රෝහලේ සහ මොණරාගල දිස්ත්‍රීක් මහරෝහල් රුධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදීම සිදු කෙරිණි.