ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2024 ජාතික රණවිරු සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ආරක්ෂක අමාත්‍යංශය හා රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කරන ලද මෙවර ජාතික රණවිරු අණුස්මරණ සැමරුම් උළෙලෙහිදී, දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කර ගැනීමේ උදාර පරමාර්ථයෙන් සිදුකල එම උත්තරීතර කැපකිරීම ඇගයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් පවත්වන ලදී.

අනතුරුව, දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මාතෘභූමියෙන් මුලිනුපුටා දමා දේශයේ උත්තරීතර නිදහස වෙනුවෙන් සිදු කළ මානුෂීය මෙහෙයුමේදී ජීවිත පරිත්‍යාග කළ සහ අතුරුදහන් වු විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින්, සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව, මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය සඳහා දායක වූ එවකට යුද, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ලෙස කටයුතු කල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා උපහාර පිරිනමන ලදි.

එමෙන්ම, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්‍ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිලිවෙලින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමන ලදි.

තවද, මියගිය වීරෝධාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව, 2024 රණවිරු සැමරුම් උළෙල නිමාවට පත් විය.