මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පුත්තලමේදී ඉදි කරයි

මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීම සහ එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අතර, එය විවෘත කිරීම, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 18 වන දින සිදු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දිවයිනේ සියළුම පොලිස් ස්ථාන විසින් සිදුකරන ලද මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ හේතුවෙන් ඊට විකල්පයක් වශයෙන්, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2023 අගෝස්තු මාසයේදී පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී නව උඳුනක් ස්ථාපිත කිරීම සහ එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් ඉදිකිරීමට කටයුතු කෙරුණු අතර, එය විවෘත කිරීම සහ එහි ක්‍රියාකාරී කටයුතු ආරම්භ කිරීම 2024 මැයි මස 18 වන දින සිදු කෙරිණි.

එමෙන්ම, උඳුනෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි පහසුකම් ඉදි කිරීම, ප්‍රධාන දොරටුව හා ආරක්ෂිත වැට ඉදි කිරීම සහ උද්‍යාන අලංකරණ කටයුතු සිදු කිරීමද නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ, නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.