34 වන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 34 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය 2024 මැයි මස 17 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික තීරණ ගැනීමේදී, කනිෂ්ඨ නිලධාරීන් හට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීමට හැකියාව ඇති, සහ වගකීම් දැරීමට හැකි දැනුමින් පිරිපුන් නායකයින් හැඩගැස්වීමේ අරමුණින්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, 2024 ජනවාරි මස 08 වන දින ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව සඳහා ඉන්දීය නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු (02), ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක් (01) නිලධාරියෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එක් (01) නිලධාරියෙකු සහ නාවික හමුදාවේ නිලධාරීන් දහහත් දෙනෙකු (17) ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් විසිඑක් දෙනෙකු (21) සහභාගී විය. මෙම සහතික ප්‍රදානොත්සවයේදී, සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය නිලධාරියාට හිමි සම්මානය සහ හොඳම ඉදිරිපත් කරන්නාට හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් ඊඑම්එම්වීආර් වික්‍රමගේ විසින්ද, හොඳම ආඥාපති නිබන්දනය ඉදිරිපත් කල ශිෂ්‍ය නිලධාරියා‍‍ට හිමි සම්මානය ලුතිනන් කොමාණ්ඩර් එල්පී වෙඩිසිංහ විසින්ද, හොඳම ජාත්‍යන්තර ශිෂ්‍ය නිලධාරියාට හිමි සම්මානය ඉන්දීය නාවික හමුදාවේ කොමාණ්ඩර් රජීව් රන්ජන් විසින් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ උපදේශක කාර්ය මණ්ඩලය, යුද හා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාමාජිකයින් සහ ශිෂ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.