නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 20 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 20 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් විසි දෙනෙකු (20) විසිරයාම අද දින (2024 මැයි 17) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික තාක්‍ෂණික ආයතනයේ වැඩ බලන පුහුණු අධ්‍යක්‍ෂ කොමාණ්ඩර් ආර්එස් ද සොයිසා ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වැලිසර නාවික තාක්ෂණික ආයතනයෙන් වසර හතරක (04) කාලසීමාවක් තුළ නාවික තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමාව (National Diploma in Technology - NDT) සඳහා සුදුසුකම් ලැබූ ශිල්පීය අංශයේ නාවිකයින් විසි දෙනෙකු (20) මෙලෙස විසිර ගිය අතර, පුහුණු කාලසීමාව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික තාක්‍ෂණික ආයතනයේ 20 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයින් ගෙන් දක්ෂතම ඉලක්කරු වෙත පිරිනමන කුසලානය ගුවන් විදුලි ශිල්පි ශ්‍රේණි I ටීඩී විදානගේ විසින්ද, දක්ෂතම ක්‍රීඩකයාට පිරිනමන කුසලානය එන්ජින් කාමර ශිල්පී ශ්‍රේණි I බීආර්එස් රශ්මික විසින්ද, නැව්බඳ ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය නැව්බඳ ශිල්පි ශ්‍රේණි I ‍ටීඑම්කේඒ තෙන්නකෝන් විසින්ද, නාවික ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය එන්ජින් කාමර ශිල්පී ශ්‍රේණි I සීඑස්සී කුමාර විසින්ද, ඉංජිනේරු අං‍ශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය ගුවන් විදුලි ශිල්පි ශ්‍රේණි I ටීඩී විදානගේ විසින් සහ 20 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයින් විසි දෙනෙකු අතරින් දක්ෂතම ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය නැව්බඳ ශිල්පී ශ්‍රේණි I ටීඑම්කේඒ තෙන්නකෝන් විසින් එහිදී ප්‍රධාන ආරාධිතයා වෙතින් හිමිකර ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා බටහිර නාවික වි‍ධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.