සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ Mini CARAT–2024 නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි

2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Mini Cooperation Afloat Readiness and Training Exercise - CARAT–24) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2024 අප්‍රේල් මස 22 වන දින සිට 2024 අප්‍රේල් මස 26 වන දින දක්වා ත්‍රීකුණාමලය මැරීන් බලකා මූලස්ථානය, වි‍ශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානය, නාවික තටාකාංගනය, උප්පාරු සහ කොළඹ ප්‍රදීපාගාර අවන්හල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු අතර, එය 2024 අප්‍රේල් මස 26 වන දින සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 26 වන දින සාම්පූර් මැරීන් බලකා මූලස්ථාන පරිශ්‍රයේ පැවති Mini CARAT - 2024 අභ්‍යාසයේ අවසන් උත්සව අවස්ථාව, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගීතා කාර්යාල ප්‍රධානී Commander Sean Jin සහ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ වැඩ බලන අධ්‍යක්‍ෂ කපිතාන් උපුල් සමරකෝන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදු කෙරිණි.

ඒ අනුව, මෙම අභ්‍යාසයේදී Force Protection අභ්‍යාසය යටතේ; ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, අත්අඩංගුවට ගත් පුද්ගලයින් හැසිරවීම, ලුහුබැඳීම, අවි පරිහරණය, ශ්‍රී ලංකාවට ආවේණික ශාක හඳුන්වාදීම, සර්පයන් හැසිරවීම යන අභ්‍යාසයන් සිදුකල අතර, නියමුවන් රහිත කුඩා නිරීක්‍ෂණ ගුවන් යානා පද්ධතිය සම්බන්ධ අභ්‍යාස (Small Unmanned Aircraft System - SUAS) සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස (Explosive Ordnance Disposal Exercise – EOD) සහ වෙඩි තැබීමේ අභ්‍යාස සිදුකෙරිණි.

එමෙන්ම, Mini CARAT - 2024 අභ්‍යාසයට සමගාමීව නීතිය හා සාමය, කාන්තා භූමිකාව, සමුද්‍රීය නීතිය බලගැන්වීම (Women, Peace and Security - WPS) පිළිබඳ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

තවද, මෙවැනි අභ්‍යාසයන් මඟින් හුවමාරු කරගන්නා නව දැනුම කුසලතා සහ අත්දැකීම් මඟින් වැඩිදියුණුවන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය තුළින් ඉදිරියේදී සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහාත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.