පැය 23 යි විනාඩි 46 ක කාලයකදී මාර්ග 04 කින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරනු ලබන; නල්ලතන්නිය, එරත්න, පලාබද්දල සහ ‍මාලින්බොඩ යන මාර්ග 04 ඔස්සේ පැය 23 යි විනාඩි 46 ක කාලයක් තුලදී ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර, පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කල පළමු පුද්ගලයා ලෙස සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ අනුව, මෙම සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2024 අප්‍රේල් මස 08 වන දින පස්වරු 0300 පැයට පළමුව නල්ලතන්නිය ශ්‍රී පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කෙරිණි. අනතුරුව, එම මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වෙතත්, එතැන් සිට එරත්න මාර්ගය ඔස්සේ පහළට පැමිණ, එම මාර්ගයේ නැවත ශ්‍රී පාදස්ථානය වෙතත්, එතැන් සිට පලාබද්දල මාර්ගයෙන් පහළට පැමිණ එම මාර්ගයෙන් නැවත ශ්‍රී පාදස්ථානය වෙතත්, එතැන් සිට මාලින්බොඩ මාර්ගයෙන් පහළට පැමිණ, එම මාර්ගයෙන් නැවත ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර, අවසන් අධියර වශයෙන් ශ්‍රී පාදස්ථානයේ සිට නල්ලතන්නිය මාර්ගය ඔස්සේ නල්ලතන්නිය වෙත පැමිණ, මෙලෙස මාර්ග 04 ක් ඔස්සේ පැය 23 යි විනාඩි 46 ක කාලයකදී ශ්‍රී පාදස්ථානය තරණය කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මෙම සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම අධීක්‍ෂණය සහ සෙරන්ඩිබ් ලෝක වාර්තාවට අදාල තරඟ නීති රීතීන්ට අනුකූලව වාර්තාව පිහිටුවන ලද බව ප්‍රකාශයට පත් කිරීම, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනය ලෙස කටයුතු කරනු ලබන සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනය කටයුතු කළ අතර, එම ආයතනය මඟින් සෙරන්ඩිබ් ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධ සහතිකය රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙත පිරිනැමීම 2024 අප්‍රේල් මස 09 වන දින සිදු කෙරිණි.