ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩිසයිසිව්’ නෞකාව (USCGC Ex -Decisive) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගැනීමේ මූලික සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පවත්වයි

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ‘Medium Endurance Cutter’ නෞකා පංතියට අයත් USCGC Ex -Decisive නෞකාව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබාගැනීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගීතා කාර්යාල ප්‍රධානී CDR Sean Jin, ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 03 වන දින සිට 05 වන දින දක්වා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය හා සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල වූ මෙරට අනන්‍ය ආර්ථික කළාපයෙහි ඇති සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, නාවික හා ධීවර ප්‍රජාවට සහන සැළසීම, සාගර කලාපයේ නිදහස් මුහුදු ගමනාගමනය සහතික කිරීම ඇතුළු සාගරය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදු කිරීමේ නාවික හමුදාවේ කාර්යය භාරය වෙනුවෙන් මෙන්ම පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව මුහුණ දීම වෙනුවෙන් නාවික හමුදා නෞකා බළඇණිය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් USCGC Ex- Decisive නෞකාව ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදීමට නියමිතව ඇත. මෙම USCGC Ex -Decisive නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතාවයන්ට අනුව නවීකරණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, එළඹෙන 2025 වර්ෂයේදී නාවික හමුදා නෞකා බළඇණියට එක්වනු ඇත.

ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621), ‘ගජබාහු’ (පි 626) සහ ‘විජයබාහු’ (පී 627) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර, එම නෞකා ශ්‍රීලංකාවට අයත් සමුද්‍රීය වපසරියේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ ද සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සහ නිදහස් මුහුදු ගමනාගමනය සහතික කිරීම වෙනුවෙන් සාර්ථකව මෙහෙයුම් සිදුකරනු ලබයි. එලෙස සමුද්‍රීය මෙහෙයුම් කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බළඇණිය ඉහළ සංචරණ ධාරිතා‍වයකින් සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයකින් යුතුව පවත්වාගැනීමේ කාලීන අවශ්‍යතාවය, මෙවැනි නෞකා අත්පත් කර ගැනීම තුලින් සපුරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හා ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ජ්‍යේෂඨ නිලධාරීන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.