ආපදා කළමණාකරණ සහ ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහනක් කළුතර දී

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරන ඒකකයේ සංවිධායකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණ කමිටු සාමජිකයන් වෙත සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිවිල් පුද්ගලයන් වෙත 2024 මාර්තු මස 19 සහ 29 දෙදින ආපදා කළමණාකරණ, මූලික ප්‍රථමාධාර සහ ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහනක් කළුතර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, ඉදිරි මෝසම් වැසි සමයේදී ඇති විය හැකි ආපදා තත්වයන් කළමණාකරණය කිරීමේ අරමුණින්, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා එක්ව, එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ආපදා කළමණාකරණ කමිටු සාමාජිකයින් වෙනුවෙන් 2024 මාර්තු මස 19 වන දින කළුතර වෙරළ තීරයේදී මෙම ආපදා කළමණාකරණ පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 මාර්තු මස 29 වන දින දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිවිල් පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ මූලික ප්‍රථමාධාර සහ ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන මඟින් මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම සිදු කෙරිණි.

තවද, මෙම පුහුණු වැඩසටහන සදහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි කමිටු සාමාජිකයින් හතළිස් හය දෙනෙකු (46) සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිවිල් පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සහභාගී වුහ.