ශ්‍රී ලංකා නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත ISO 9001:2015 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 9001:2015 සහතිකය ප්‍රදානය කිරීම 2024 මාර්තු මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරිනී, ආචාර්ය සිද්දිකා ජී. සේනාරත්න මහත්මිය ගේ සහභාගීත්වයෙන්, කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිළිගත් ලිඛිත ක්‍රමවේදය මඟින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීමේ ක්‍රමවේදය සකස් කිරීම වෙනුවෙන් නිරතුරුව විධිමත් අභ්‍යන්තර තක්සේරු කිරීම් සිදු කිරීම” යන නාවික හමුදා පරීක්‍ෂණ ඒකකයේ මෙහෙවර ළඟා කරගැනීම උදෙසා, නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය නාවික හමුදාධිපති ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම, අභ්‍යන්තර සම්පත් ඉහළම ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව යොදා ගනිමින්, උපරිම බාහිර පාරිභෝගික තෘප්තිය ලබා ගැනීම සහ එමඟින් විගණන සහ පරීක්‍ෂණ පැවැත්වීම කාලීනව සිදුකිරීම සහතික කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා, යාත්‍රා සහ ආයතනයන්හි ප්‍රමිතිගත පරීක්‍ෂණ සහ විගණන ක්‍රියාවලිය සිදු කිරීමට නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය කැපවී සිටී.

ඒ අනුව, "පූර්ණ තත්ත්ව කළමනාකරණ" රාමුව හා සබැඳි සංස්කෘතිය ආයතනගත කිරීම මඟින්, අභියෝගාත්මක තත්ත්ව අරමුණු යථාර්ථයක් කිරීම සඳහා තත්ත්ව කළමනාකරණ පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීම ඇතුළු නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය විසින් සිදුකරන පරීක්‍ෂණ සහ විගණන අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වීම සහ ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයේ අවශ්‍යතා නිසි ලෙස සපුරාලන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරන ලද පුළුල් තත්ත්ව විගණනයක් මඟින් තහවුරු කරගැනීමෙන් අනතුරුව, නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය පිරිනැමීම මෙලෙස 2024 මාර්තු මස 27 වන දින සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික කළමනාකරණ මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජිතයින්, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක්ද සහභාගි වී සිටියහ.