විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මාර්තු 27) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වී, 31 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම අති දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් පුහුණු සාමාජිකයාට හිමි කොමාණ්ඩර් එස්එන්කේ සිල්වා අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි බීඑම්එන්එම් බස්නායක විසින්ද, දක්ෂතම වෙඩික්කරුට හිමි කොමාණ්ඩර් සීඩී මාටින්ස්ටයින් අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ඩබ්ජීඑස් විමලරත්න විසින්ද, හොඳම ශාරීරික යෝග්‍යතාකරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්කේ දළුගම අනුස්මණ කුසලානය සාමාන්‍ය නැවි එස්එන්එස්බීකේඑස් සේමසිංහ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රධාන සුළු නිලධාරි කේජී ශාන්ත අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ඒඑච්එම්එස් සඳකැළුම් විසින්ද, පාඨමාලාවේ අතිශූර පිහිණුම්කරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් ටීඩී පලිහේන අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි එස්එන්එස්බීකේඑස් සේමසිංහ විසින් සහ පාඨමාලාවේ අතිශූර පුහුණු සාමාජිකයාට හිමි විශේෂ යාත්‍රා බලඝණ සිරිය සාමාන්‍ය නැවි බීඑම්එන්එම් බස්නායක විසින්ද හිමිකර ගන්නා ලදි.

තවද, විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් විසින් සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් එම බලඝණ පරිශ්‍රයේ සහ නිකල්සන් කෝව් (Nicolson Cove) මුහුදු තීරයේ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක්විය.

මෙහිදී පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් ඇමතූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ඉතාමත් දුශ්කර පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳි නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන බව ප්‍රකාශ කරන ලදි. තවද, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳි නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් වෙත සිය කෘතඥතාවය පලකිරීමට ද එහිදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ නොගැඹුරු මුහුදු කාලපයේ උපායමාර්ගික වශයෙන් විශේෂ පුහුණුවක් ලද කණ්ඩායම් යෙදවීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් 1993 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ වූ බවත්, විශේෂ යාත්‍රා බලඝණය අද පවත්නා තත්වයට ක්‍රමිකව වර්ධනය වීම සඳහා ආරම්භයේ සිට විවිධ වකවානුවල එම බලඝණයට අණදුන් අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ නාවිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම තීරණාත්මක සාධකයක් වූ බවත් පවසන ලදි.

එමෙන්ම, සුවිශේෂී නාවික හමුදා පුද්ගලයෙකු ලෙස නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා අවතීර්ණ වන නව සාමාජිකයන් වෙතින්, විශේෂ යාත්‍රා බලඝණයට ආවේණික උසස් වෘත්තීය නිපුණත්වය තවදුරටත් ඔපමට්ටම් කර ගනිමින්, මනා විනය හා පැවැත්මෙන් යුතුව, සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කර, ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති කාර්යය භාරය ඉටු කිරිම සඳහා අධිෂ්ඨානශිලීව කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බව එහිදී නැගෙනහිර නාවික විධනයේ ආඥාපති විසින් අවධාරණය කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් මෙන්ම අද දින ලාංඡන පැළඳි නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.