යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2024 මාර්තු මස 01 සහ 02 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්‍ෂණය යටතේ මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා ප්‍රධාන පූජක වරුන් හට මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු මුහුදු ප්‍රවාහන පහසුකම් නාවික හමුදාවේ අධීක්ෂණයෙන් සිදුකෙරුණු අතර, සනීපාරක්‍ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ පානීය ජලය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම මෙන්ම, දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම ද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

මෙම දේව මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, ඒ සඳහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ නියෝජනය කරමින් තවත් පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් සහභාගීවී සිටියහ.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ඇතුළු උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.