මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වූ සයුරළ නෞකාව දිවයිනට ලඟා වෙයි
2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවති මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයෙන් පසුව, සයුරළ නෞකාව 2024 පෙබරවාරි මස 29 වන දින ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට ලඟා විය.
මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ, වරාය අධියර 2024 පෙබරවාරි මස 19 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරායෙහි දී පැවැති අතර, එහිදී පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය හා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා සංවිධානය කර තිබූ විවිධ වැඩසටහන් සඳහා සයුරළ නෞකාවේ නැව් මුළුව සහභාගී විය. එමෙන්ම, අභ්‍යාසය සඳහා සහභාගී වූ පාර්ශ්වයන්ගේ සංස්කෘතීන් විදහා දක්වමින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර නගර පෙළපාළිය සහ ආහාර ප්‍රදර්ශණය සඳහා ප්‍රදර්ශණ කුටියක් ඉදිරිපත් කිරීමට ද සයුරළ නෞකාවේ නැව් මුළුව විසින් කටයුතු කෙරුණු අතර, එහිදී එම අවස්ථාවන් වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ නර්ථන කණ්ඩායම දායකත්වය දැක්වීම සිදු කෙරිණි. එමෙන්ම මෙම අභ්‍යාසයට සමඟාමීව, ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් චන්දිම සිල්වා සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් දර්ශන අමරකෝන් විසින් විදේශීය නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සුහද හමුවීම් සිදුකෙරුණු අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන්ද සිදු කෙරිණි.
මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර, 2024 පෙබරවාරි මස 24 වන දින සිට 27 වන දින දක්වා නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා සයුරළ නෞකාව ඇතුළුව නෞකා 34 ක්, ගුවන් යානා සහ එක් සබ්මැරීනයක් එක්විය. නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සමුද්‍රීය සහයෝගිතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින්, සංකිර්ණ නාවික අභ්‍යාසයන්ගෙන් මෙම අධියර සමන්විත විය. ඒ අනුව, මුහුදු අධියරෙහි දී නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, දියයට සංග්‍රාමික අභ්‍යාස, හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම ඇතුළු අභ්‍යාසයන් සිදුකෙරිණි.
විදෙස් නාවික හමුදාවන් රැසක් සහභාගී වන මෙවැනි නාවික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය මෙන්ම ඉන් පිටත නාවික හමුදාවන් හා සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත්, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපාය මාර්ගික ක්රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්රතිලාභ රැසක් හිමි වනු ඇත.