‘EX - DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට ළඟාවෙයි
ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVI’ ත්‍රෛයිපාර්ශ්වික වෙරළාරක්ෂක නාවික අභ්‍යසයෙන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2024 පෙබරවාරි මස 29) උදෑසන ත්‍රීකුණාමලය වරායෙන් දිවයිනට ළඟාවිය.
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක සාමාජිකයින් අතර සහයෝගීතාව ගොඩනැඟීම, මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවද, ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන ‘Samarth’ හා ‘Abhinav’ නෞකාවන්, සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් සහ මාලදිවයින් ජාතික ආරක්ෂක හමුදාව නියෝජනය කරමින් මාලදිවයින් වෙරළාරක්ෂක නෞකා ‘Huravee’ හා ‘Ghazee’ යන නෞකාවන් සහභාගී විය.
ඒ අනුව, මෙම ත්‍රෛයිපාර්ශවික නාවික අභ්‍යාසය තුළදී තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඉවත්කිරීම (Medical Evacuation), යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ හා මුහුදු මංකොල්ල මැඩපැවැත්වීමේ අභ්‍යාස (Visit Board Search & Seizure & Piracy), සෙවීම් හා මුදවා ගැනීමේ අභ්‍යාස (Search and Rescue Drill), යුද නෞකා අතර ආචාර සමාචාර කිරීම (Steam Past) ඇතුළු අභ්‍යාසයන් සාර්ථකව සිදු කෙරිණි.
එමෙන්ම, මෙම අභ්‍යාසයට සමඟාමීව සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නලින්ද කුමාර සහ මාලදිවයින් ජාතික ආරක්ෂක වෙරළාරක්ෂක බලකායේ ආඥාපති කර්නල් මොහමඩ් සලීම් (Commandant of Maldives National Defence Force Coast Guard Colonel Mohamed Saleem) අතර සුහද පිළිසඳරක්ද පැවැත්විණි.
තවද, මෙවැනි අභ්‍යාස මඟින් වැඩි දියුණු වන සහයෝගීතාවය සහ හුවමාරු කර ගනු ලබන නව දැනුම හා අත්දැකීම් තුලින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝගයන්ට ඉදිරියේදී සාමූහිකව විසඳුම් සෙවීමට හැකියාව ලැබෙනු ඇත.