කැස්බෑ බිත්තර සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාලු මුවදොරදී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් කැස්බෑ සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහනක්, 2024 පෙබරවාරි මස 15 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී සහ ගාලු මුවදොර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී, වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කිරීම මඟින් සාගර පරිසර පද්ධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සඳහා ‍ඉටුවන දායකත්වය සම්බන්ධයෙන් සහ කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර ඉන් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමේ කාර්යය සඳහා දායක වන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ සාමාජිකයින් දැනුවත් කිරීම සිදු කෙරිණි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක් වන කැස්බෑවන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් නාවික හමුදා පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ බිත්තර සංරක්ෂණය කර ඉන් බිහිවන කැස්බෑ පැටවුන් ආරක්ෂිතව සාගරයට මුදා හැර සාගරික පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය රැකදීමට විශාල දායකත්වයක් දක්වනු ලබයි.

මේ වන විට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ බටහිර, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි.