76 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු සේතා තව්සින් (Srettha Thavisin) මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් “හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින ‍(2024 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 76 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධනී ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාධිපති වරුන් සහ වැඩ බලන පොලිස්පති විසින් නිදහස් උත්සව පරිශ්‍රය වෙත පැමිණි ගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීම සඳහා කොඩි කණුව සහිත පීඨිකාව ‍වෙත කැටුව යාමෙන් පසු, ගරු ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීමත් සමඟ ජාතික දින සැමරුම් උළෙල ආරම්භ විය. ජාතික ධජය එසවීමේ අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සහ ඒ හා සම්බන්ධ කටයුතු සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශය විසින් සිදු කෙරුණු අතර, ජාතික ගීය ගායනයේදී සහ ජයමංගල ගාථා ගායනයේදී සංගීතය සැපයීම, නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් සිදු කෙරිණි.

76 වැනි නිදහස් සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා නාවික හමුදා නිලධාරීන් 57 ක් සහ නාවිකයින් 889 දෙනෙකුගෙන් යුත් අංශ අටක් (08) සහ නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ තාක්‍ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළ සඳහා නිලධාරීන් 02 ක් සහ නාවිකයන් 61 ක් සහභාගි විය. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ නාවික පුහුණු කොමදෝරු බුද්ධික ජයවීර සමස්ථ ආචාර පෙළපාලියේ පෙර ගමන් රථයේ ගමන් කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බල ඇණිය අභිමානවත්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, සයුර සහ සමුදුර යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂයෙන් සරසා ගාලු මුවදොර ඉදිරිපස මුහුදේ නැංගුරම්ලා, මෙවර නිදහස් දිනයට එක්විය.

76 වැනි නිදහස් දින ආචාර පෙළපාලියේ නාවික හමුදා ධජය ලුතිනන් කමාණ්ඩර් මෝදිත අබේකෝන් විසින් රැගෙන යන ලද අතර, නාවික හමුදා සමූහ තූර්ය වාදක කණ්ඩායමේ රණ හඩ මධ්‍යයේ, නාවික හමුදාව, නාවික හා සාගරික විද්‍යාපීඨය, උතුරු නාවික විධානය, නැගෙනහිර නාවික විධානය, දියත් විධානය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය සහ ස්වේච්ඡා නාවික හමුදාව වෙත පිරිනමන ලද ජනාධිපති වර්ණ ධජ සහ, නාවික විධානයන්ට අයත් විධාන ධජ රැගත් නිලධාරීන් සමඟින් ගමන් ගත් ආචාර පෙළපාලිය සඳහා කමාණ්ඩර් වජිර බංඩාර විසින් අණදීම සිදු කෙරිණි.

නාවික හමුදා ආචාර පෙළපාලියේ ප්‍රථම අංශය ලෙස ගමන්ගත් නාවික හමුදා මූලස්ථාන අංශය සඳහා ලුතිනන් කොමාණ්ඩර් සංඛ පීරීස් විසින් අණදීම සිදුකල අතර, නාවික හමුදා දියත් විධානයේ අංශය සඳහා ලුතිනන් කමාණ්ඩර් සවින්ද්‍ර පතිරණ විසින් අණදීම සිදු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා 04 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අංශය ලුතිනන් කමාණ්ඩර් තිලංක ද සිල්වා ගේ අණදීම යටතේද, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් දෙවරක් අණදී ඇති, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ අංශය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කමාණ්ඩර් අනුෂ්ක ජයවර්ධන විසින්ද, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අංශය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කමාණ්ඩර් ජයම්පති බුද්ධදාස විසින්ද, නාවික හමුදා මැරින් බලකායේ අංශය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කොමාණ්ඩර් සුන්දරරාජ් මහින්දරාජ් විසින්ද, කාන්තා නාවික අංශය සඳහා ලුතිනන් කමාණ්ඩර් උදානි පෙරේරා විසින් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අංශය‍ට අණදීම ලුතිනන් කමාණ්ඩර් උදාර මල්ලවආරච්චි විසින් සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන අවි සහ තාක්ෂණික උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළපාලිය භාර නිලධාරී ලෙස කොමාණ්ඩර් අංජන ප්‍රේමරත්න පෙරගමන් රථයේ ගමන් කල අතර, රථ පෙළපාලිය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරනු ලබන වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවක්, සෙඩ්රික් යාත්‍රාවක් සහ විශේෂ යාත්‍රා බලඝණය සහ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ මෙහෙයුම් සඳහා යොදා ගන්නා රිබ් යාත්‍රාවක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කිමිදුම් උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථයක් මෙම රථ පෙළපාලියේ ප්‍රදර්ශනය කෙරිණි.

තවද, නිදහස් උත්සවය වර්ණවත් කරමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් ගේ සහභාගීත්වයෙන් පැරෂුට් සංදර්ශනයක් පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් පැරෂූට් පැනීම් 867 කට හිමිකම් කියන විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී, කපිතාන් ධර්මසිරි හේරත් නාවික හමුදා ධජය සහිත පැරෂුටය මඟින් අභිමානවත් නාවික හමුදා ධජය රැගෙන ගාලු මුවදොර පිටියට ළගා විය.

එමෙන්ම, පැරෂුට් පැනීම් 537 කට හිමිකම් කියන කමාණ්ඩර් තිස්ස කුමාර, පැරෂුට් පැනීම් 416 කට හිමිකම් කියන පාලක ප්‍රධාන සුළු නිලධාරී එල්ඒඒපී කුමාරසිංහ, පැරෂුට් පැනීම් 447 කට හිමිකම් කියන සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ඒ සිරිවර්ධන සහ පැරෂුට් පැනීම් 480 කට හිමිකම් කියන ප්‍රධාන සුළු නිලධාරී ජීසීඑම්කේ ගීකියනගේ මෙවරත් නාවික හමුදාව නියෝජනය කරමින් පැරෂූට් සංදර්ශණයට සහභාගී විය.

මෙම නිදහස් සැමරුම් උළෙල සඳහා අති පූජනීය ගරුතර මහාසංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ රජයේ මැති ඇමතීන්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය, ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.