පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 30) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Sword Class Frigate වර්ගයට අයත් ‘PNS SAIF’ නෞකාව, දිගින් මීටර් එකසීය විසිතුනක් (123) හා නැව් මුළුව දෙසිය හැත්තෑ හය (276) දෙනෙකු ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් මුහම්මද් අලී (Captain Muhammad Ali) කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘PNS SAIF’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් පැවැත්වීමට නියමිත අතර, එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, ‘PNS SAIF’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් 2024 පෙබරවාරි මස 01 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.