නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ
නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකෙරුණු අතර, එම පුණ්‍යමහෝත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
පූජ්‍යපාද අක්මීමන පියරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා දකුණු නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2019 අප්‍රේල් මස ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් අවසන් කෙරිණි. එමෙන්ම, එම සංඝාවාස ගොඩනැගිල්ලට යාබද පැති බැම්ම ඉදිකිරීම සහ පංචථූපාරාම පුරාණ මහා විහාරය සම්පූර්ණයෙන් තීන්ත ආලේප කර පිළිසකර කිරීමද නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව, මල්වතු පාර්ශවයේ ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න අත්ථදස්සී පූජ්‍යපාද අක්මීමන පියරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කල උත්සවයට සමඟාමීව මෙම සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කර සඟසතු කොට පූජා කිරීම මෙලෙස අද දින (2024 ජනවාරි 27) සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති ඇතුළු එම නාවික විධානයේ නාවික පුද්ගලයන් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගීවී සිටියහ.