නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1988 වසරේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන්, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු (සැලසුම් සහ දේශීය පුහුණු - අභ්‍යන්තර), වැඩ බලන විනයාරක්‍ෂාධිපති, වැඩ බලන නාවික අණභාර නිලධාරී (පූනෑව) සහ වැඩ බලන ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, අධිසහායක සහ පෞද්ගලික ලේකම්, අධ්‍යක්‍ෂ නාවික අවි, ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක සංගීත සහ නාවික අණභාර නිලධාරී (වැලිසර), නියෝජ්‍ය ආඥාපති දකුණු නාවික පෙදෙස සහ වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (ගාලුවරාය), අධ්‍යක්‍ෂ වාණිජ පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සහ පතොරම් ප්‍රසම්පාදන ඒකකය (වැලිසර) හා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල හා ආඥාපති ස්වේච්ඡා නාවික හමුදාව සහ ආඥාපති උතුරු නාවික පෙදෙස යන ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.